Snake Protectors Sri Lanka

සර්පයන් ද පරිසරයේ කොටසකි, ඔවුන්ට ද ජීවත් වීමට අයිතියක් ඇත.
Snakes are also a part of the environment, they also have a right to live.

සර්ප දෂ්ඨනයන් වලක්වා ගැනීමට මාර්ගෝපදේශනය

වගා බිම්‍, ගොවිපොළවල් මෙන්ම ගෙවතු ආදී මිනිස් වාසයන් ආශ්‍රිතවත් මිනිස් ක්‍රියාකාරකම් වලදී සර්පයන් බහුලව ගැටෙන අතර සර්ප දෂ්ඨනයන් වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම මගින් සර්ප දෂ්ඨනයන් අවම කරගත හැක. ඒ සදහා පහත ක්‍රියාමාර්ග නිර්දේශ කෙරේ.

1. රාත්‍රී කාලයේදී සර්පයින් පෑගීමෙන් වැළකීමට විදුලි පන්දම් එළියක් රැගෙන යන්න.

2. සර්පයින් ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව වැඩ කිරීමේදී හෝ ඇවිදීමේදී වළලුකර දක්වා දිග ඇදුම් පාවිච්චි කරන්න. පාද හා පතුල් ආවරණය වන පරිදි පාවහන් පළදින්න. උසට තණකොල වැටී ඇති ප්‍රදේශ, මිටි පදුරුවලින් වැසී ඇති ස්ථාන, කැලෑ මැදින් වැටුනු අඩි පාරවල්, අස්වනු කපන කාලවලදී සහ වල්පැළ නෙලන කාලවලදී කෘෂිකාර්මික ඉඩම්, සර්පයින් සුලබ වශයෙන් ගැවසෙන ස්ථානයන්ය.

3. සර්පයින් සිටින ප්‍රදේශවල ඇවිදින විටදී කෝටුවක් පාවිච්චි කරන්න. ඔබ යන අඩි පාරෙහි ඇති තළකොළ වලට සහ විටි පදුරු වලට කෝටුවෙන් පහර එල්ල කරන්න. එය සර්පයන් පලවා හැරීමට හේතුවේ.

4. සර්පයින්ට සාමාන්‍ය‍යෙන් සුළගෙහි ඇතිවන ශබ්ද නොඇසෙන නමුදු පොළොවෙහි ඇතිවන සියුම් කම්පන පවා දැනේ. එම නිසා පොළොවෙහි කම්පනය ඇතිවන අයුරින් ගමන් කිරීමෙන් ඔබේ පැමිණීම ගැන සර්පයාට දැනගැනීමට ඉඩ හරින්න.

5. කුඹුරු වැපිරීමේදී ලියැදි ආශ්‍රිතව විශේෂයෙන්ම තිත් පොළගා (Russell’s viper) ගැවසිය හැකි බැවින් ප්‍රවේසම්වන්න. නියර මනාව පිරිසිදු කරන්න. නියරේ ගුල් වසා නියර බැඳීම සිදු කරන්න. වාරි ඇළවලල් මනාව පිරිසිදු කරන්න.කුඹුරට යන එන සෑමවිටම පාහේ පාද වැසෙන සේ දිගු කලිසම්, උස බූට්ස් සපත්තු, අත් ආවරණ පළදින්න. ගොයම් කපන අවස්ථා වලදී උප්පිඩි , මාප්පිඩි, කමත හා පිදුරු ආශ්‍රිතව සර්පයින් පිළිබඳව අවධානය යොමු කරන්න.

6. තණකොළ කැපීමේ දී අත්වැසුම් භාවිතය හා කෝටුවකින් තණපඳුරු ආශ්‍රිතව සර්පයන් සිටී දැයි බැලීම. ගවයින් රැගෙන යාමේ දී පාර මැදින් ගමන් කිරීම, සන්ධ්‍යාවේදී හා අඳුරු අවස්ථාවලදී ගමන් කරන විට පන්දමක් රැගෙන යාම, තණ පිට්ටනි ආශ්‍රිතව වැතිරී විවේක ගන්නා විට හුඹස්, කොළ රොඩු සහිත ස්ථාන හැකිතාක් මඟහැරිම. හැකි සෑමවිටම අඳුර වැටීමට පෙර ගවයින් නැවතත් රැගෙන ඒම. හැකි සෑමවිටම අඳුර වැටීමට පෙර තණකොළ කපා අවසන් කිරීම. පාරේ ගමන් කරන විට බූට්ස් සපත්තු පැළඳීම

7. අපරික්ෂාකාරී ලෙස වේ හුඹස් වලට, ගස් බෙනවලට , ඝනව පැලෑටි වැඩී ඇති වදුල්වලට හා ලී කොටන් යටට අත නොදමන්න. මිනිස් වාසයන් අවට සර්පයින් සිටින මෙවැනි තැන් ඉවත් කල යුතුය. වේ හුඹස් හා ගස්බෙන විනාශ කල යුතුය. කඩා වැටුණු ගස්, දර කොටන්. ගල් ගොඩවල් ආදියද ඉවත් කල යුතුය. ඔබ වැඩ කරන විට කොටන් ගල් ආදිය ඉවත් කිරීමට වුවහොත් එම තැන්වල සර්පයින් සැගවී සිටීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම්වන්න.

8. සර්පයන් ගොදුරු වශයෙන් ගන්නා මීයන් බෝවීමට ඉඩ ඇති කසල ගොඩවල් ඉවත් කර කාණු පද්ධති ඇතුළු අවට පරිසරය පිරිසිදුව තබාගන්න. මීයන් බෝවීමට ඉඩ ඇති බැවින් නිවෙස් තුළ වී ගබඩා නොකරන්න. ඔතන ලද පැදුරු තුළ සර්පයන් සැගවී සිටිය හැකි බැවින් ඒවා පොළොව මත නොතබා වහලයේ එල්ලා තබන්න.

9. සර්පයන් ඇල්ලීම හා හැසිරවීම සිදු කළ යුත්තේ ඒ සඳහා මනා පුහුණුවක් සහ පළපුරුද්දක් සහිත අය විසිනි. ඒ සඳහා ආරක්ෂාකාරී උපාංග භාවිත කිරීම (ටොන්ග්, ආරක්‍ෂිත පාවහන්, සර්පයන් ඇල්ලීමේ විශේෂිත අත්වැසුම්) සහ, සර්පයන් හැසිරවීමේ නිසි තාක්ෂණික ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඉතා වැදගත් වෙයි.

10. ඇතැම් විටක මියගියාක් මෙන් සිටින සර්පයෙකුට පවා ප්‍රාණය තිබිය හැකි බැවින් ඉතා ප්‍රවේශමෙන් හැසිරවිය යුතුය. මියගිය සර්පයෙකුගෙන් පවා ප්‍රතීක ක්‍රියාවක් වශයෙන් දෂ්ඨනයක් සිදුවිය හැකිය.
මහාචාර්ය අංජන සිල්වා
MBBS (Perad.), M.Phil (Perad.), PhD (Monash), FRCP (Edinburgh)

වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ මහාචාර්ය
පරපෝෂිත විද්‍යා දෙපාර්තමේන්තුව
වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය