Snake Protectors Sri Lanka

සර්පයන් ද පරිසරයේ කොටසකි, ඔවුන්ට ද ජීවත් වීමට අයිතියක් ඇත.
Snakes are also a part of the environment, they also have a right to live.

සර්පයින් පිළිබඳ මිත්‍යා මත (MYTHS ABOUT SNAKES )

                                                                                          සර්පයින් පිළිබඳ මිත්‍යා මත

සර්පයන් සහ මිනිසා අතර සබඳතාවය දීර්ඝ ඉතිහාසයක් දක්වා දිවයයි. අනෙක් සතුන්ට වඩා බාහිර ස්වරූපයෙන් වෙනස් වීම සහ විෂ සහිත සර්පයන්ද සිටින නිසාවෙන් මිනිසා සර්පයන් කෙරෙහි දැක්වූවේ බිය මිශ්‍ර කුතුහලයකි. බෞද්ධ සාහිත්‍යය මෙන්ම ලාංකික සංස්කෘතිය සමගද බැඳී සිටින සර්පයන් ගැන සාමාන්‍ය ජන ජීවිතයේද පවතින ජනකතා සහ විශ්වාස බොහොමයකි. නමුත් අවාසනාවකට මින් විශාල ප්‍රමාණයක් අතිශයෝක්තිය දනවන පුවත් සහ මිත්‍යා විශ්වාස වන අතර මෙය සර්පයන් කෙරෙහි අයහපත් ආකල්පයක් වර්ධනය වීමට තුඩු දී තිබේ. මේ සර්පයන් සම්බන්ධව ඇති සුලබ මිත්‍යා විශ්වාස බොහොමයකින් කිහිපයක සැබෑ ස්වරූපය විමසා බැලීමකි

දෙපත් නයාට හිස් දෙකක් සහිත වන අතර හිස් දෙකෙන්ම දෂ්ට කරන බව

දෙපත් නයා යනු ශ්‍රී ලංකාවටම ආවේණික ඉතා අලංකාරවත් අර්ධ පාංශුවාසී සර්පයෙකි. දෙපත් නයා බොහෝ විට සපාකෑමට තැත් නොකරන අතර කිසිඳු විෂක් නොදරන නිර්විෂ සර්ප විශේෂයකි. දෙපත් නයාගේ හිස සහ වලිගය සමාන පෙනුමකින් යුක්ත වන අතර, අනතුරකදී දඟර ගැසී හිස දඟරය තුළ සඟවාගෙන තම වලිගය පෙනයක් සේ පැතලි කර ඔසවා පෙන්වයි. වලිගය ප්‍රදේශයෙන් දෂ්ට කිරීමට කිසිදු හැකියාවක් නැති අතර මෙය විලෝපිකයන් නොමඟ යැවීමෙන් හිස ප්‍රදේශය ආරක්ෂා කරගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කරයි.

ලේ මාපිලා රාත්‍රියේදී වලිගයෙන් එල්ලී ලේ උරා බොන බව

ලේ මාපිලා යනු රතු පැහැයට හුරු වර්ණයක් දරන සර්ප විශේෂයක් වන අතර හුදෙක්ම මේ නම ලැබී ඇත්තේ ශරීර වර්ණය නිසාය. සර්ප ලෝකය තුළ රුධිරය උරා බොන සර්පයන් නොමැති අතර මොවුන් රාත්‍රී කාලයේ වහලයේ එල්ලී මිනිසුන්ගේ ලේ උරාබොන බවට ඇති විශ්වාසය සම්පූර්ණ මිත්‍යා මතයකි. රුක්වාසී හැසිරීමක් දරන ලේ මාපිලා තම පරිග්‍රාහක වලිගය ආධාරයෙන් වහලයේ එල්ලී සිටිනු දුටු පැරැන්නන් මේ මතය නිර්මාණය කර ඇතැයි උපකල්පනය කළ හැක. නමුත් සියළුම මාපිල් විශේෂ සුළුවිෂක් දරන මිනිස්සුන්ට හානිදායක නොවන සර්ප විශේෂ වේ.

නිදි මාපිල් දෂ්ටනයෙන් නින්දේදීම මරණයට පත් වන බව

නිදි මාපිලා අනෙකුත් සියලුම මාපිලුන් මෙන් සුළුවිෂැති සර්පයින් විශේෂයකි. නිදි මාපිලා එකම ඉරියව්වකින් බොහෝ වේලා නිසොල්මන්ව සිටීම මෙනමින් හැඳින්වීමට හේතු වන්නට හැක. මීට අමතරව රාත්‍රී කාලයේදී උග්‍රවිෂ තෙල් කරවැලාගේ දෂ්ටනයන්ගෙන් නින්දේදීම මිනිසුන් මරණයට පත්වීම නිවෙස් ආශ්‍රිතව සුලබව හමුවන නිදි මාපිලාගේ නමට බැරවෙන්නට ඇතැයි උපකල්පනය කළ හැක.

සර්පයෙක් මරණයට පත්කළ විට තවත් සර්පයන් 7 දෙනෙක් එම ස්ථානයට පැමිණෙන බව

සර්පයන් තම විරුද්ධ ලිංගිකයන් හඳුනාගැනීමට “පෙරමෝන” නම් සංයෝග භාවිතා කරයි. සංවාස සමය එලඹීමත් සමඟ පිරිමි සතුන් ගැහැණු සර්පයන්ගෙන් නිකුත් වන පෙරමෝන ආධාරයෙන් ඔවුන් කරා එළඹීම සිදුවේ. එබැවින් අභිජනන සමයේ පසුවන ගැහැණු සතෙකු මරා දැමුවහොත් ඒ අවට සිටින එම විශේෂයේම පිරිමි සතුන් එම ස්ථානය කරා ඇදී ඒමට හැකියාව ඇත. නමුදු නිශ්චිතවම 7ක් පැමිණෙන බව පැවසීම නිවැරදි නොවන අතර ඒ අවට සිටින සතුන් යම් සංඛ්‍යාවක් පැමිණිය හැක. හුදෙක්ම මේ පැමිණීම සිදුවන්නේ පෙරමෝන වල ආකර්ෂණය නිසා මිස පළිගැනීමක් හෝ වෙනත් අරමුණක් පාදක කරගෙන නොවේ.

 

පිඹුරා මිනිසුන් වෙලාගෙන වලිගයේ ඇති විෂ කටු 2 කින් දෂ්ට කරන බව

සත්‍ය වශයෙන්ම පිඹුරාගේ වලිගය ආරම්භ වන ස්ථානයේ පිහිටන කටු 2ක් වැනි උපාංග නිසා මෙම විශ්වාසය නිර්මාණය වී තිබේ. නමුත් මේවා පිඹුරා පරිණාමයේදී ඉතිරි වූ නෂ්ට වූ පාද වල කොටස් වේ. පරිණාමයේදී පිඹුරාගේ පාද ක්ෂීණ වී ගොස් වර්තමානයේදී මෙම කටු දෙකක් වැනි සලකුණ පමණක් ඉතිර වී ඇත. මේවා පිඹුරා සංසර්ගයේ යෙදීමේදී ආධාරකයක් ලෙස භාවිතා කරන අතර මේ උපාංගයෙන් මිනිසාට හෝ සතුන්ට වෙනත් කිසිඳු හානියක් කිරීමේ හැකියාවක් නොමැත. අනතුරක් දැනුනු විට සපාකෑමට හැකියාව සහිත වුවත් පිඹුරා යනු නිර්විෂ සර්පයෙකි.

ඇහැටුල්ලා ඇස් උගුල්ලා ගන්නා බව

ඇහැටුල්ලන් ඇසට පැන ඇස් උගුල්ලා ගන්නා බව සුලබ මිත්‍යා මතයකි. ඇහැටුල්ලන් රුක්වාසී සර්පයන් වන අතර මිනිසාට සමාන්තර උසකින් පිහිටන පඳුරු හා ගස් මත දැකිය හැකිවේ. මෙලෙස සිටියදී අනතුරක් දැනුනු විට මිනිසාගේ ඇසේ සහ හිසේ චලනයට අනුව හිස සැලීම මෙම මතය සමාජගත වීමට හේතුවී ඇත. නමුත් සුළුවිෂක් දරන ඇහැටුල්ලාගේ දෂ්ටනයන් දෂ්ට මුඛයේ සුළු ඉදිමීමකට සහ වේදනාවකට පමණක් සීමා වන අතර ඇස් උගුල්ලන බවට ව්‍යවහාරයේ භාවිතා වීම වැරදි කරුණකි.

දියබරියන් හෝ ගැරඬි‍යන් සපා කෑ පසු අනිකුත් සර්පයන් දෂ්ට නොකරන බව

ගැරඬියා සහ දියබරියන් යනු නිර්විෂ සර්ප විශේෂයන් වේ. අතීත ලංකාවේ උසස් කුළ සහ පහත් කුළ ලෙස සමාජ මට්ටම් වෙන්වීම දක්නට ලැබුණි. එකල සර්පයන්ද කුල වලට වෙන් කිරීමට දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස ගැරඬියා සහ දියබරියා පහත් කුළයේ සර්පයන් ලෙස සලකන ලදී. පහත් කුළයේ සර්පයෙකු සපාකෑ තැනැත්තෙක් වෙනත් සර්ප දෂ්ටනයන්ට ලක් නොවන බවට මිනිසුන් විසින් විශ්වාස කරන ලදී. නමුත් ගැරඬි, දියබරි සපාකෑම්වලින් අනෙක් සර්ප දෂ්ටන වලදී ආරක්ෂාවක් නොලැබෙන අතර, නිර්විෂ සර්පයෙකුගේ සපාකෑමක් සිදුවූවත් රෝහල්ගත වී පිටගැස්ම එන්නත ලබාගැනීම අනිවාර්ය වේ.

.

හබරලා නම් උග්‍රවිෂ සහිත සර්ප විශේෂයක් සිටින බව

ශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියේ ‘හබරලා’ නමින් නිශ්චිත සර්ප විශේෂයක් නොමැත. එනම් ‘හබරලා’ යනු ප්‍රාදේශීයව භාවිතා කරන නාමයකි. සර්ප විශේෂ ගණනාවකටම හබරලා යන නාමය පටබැඳී ඇති අතර, මින් නිවැරදිවම හබරලා නමින් හඳුන්වන්නේ සුළුවිෂක් සහිත නාග මාපිලා වේ. නාග මාපිලා, කබර මාපිලා යන නමින්ද හඳුන්වන අතර කාලයත් සමඟ කබර මාපිලා –> හබර මාපිලා –> මාපිල් හබරා –> හබරා/හබරලියා ලෙස ජනවහරට එකතුවී ඇත. නාග මාපිලාට අමතරව උග්‍රවිෂ තෙල් කරවැලාත්, නිර්විෂ කටකළුවාත් ප්‍රාදේශීයව මේ නමින් හඳුන්වන අවස්ථා සුලබය. එහෙත් ප්‍රදේශීයව ගැරඬි පැටවුන්ගේ සිට විවිධ සර්පයන්ට හබරලා යනුවෙන් වැරදි ලෙස භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. නමුත් නිවැරදිවම හබරලා යන නම හිමි නාග මාපිලා යනු සුළුවිෂක් සහිත එකදු මිනිස් මරණයක් වත් සිදුකර නොමැති සර්ප විශේෂයකි.

නයා සහ ගැරඬියා අතර අභිජනනයෙන් කටකළුවා නම් සර්ප විශේෂය බිහිවන බව

කටකළුවා යනු නයෙක්ගෙන් ගැරඬියෙකුට දාව උපදින විෂ සහිත සර්පයෙක් බව ජන සමාජය තුල ගොඩනැගී ඇති මිත්‍යා මතයකි. මෙහි සත්‍ය කරුණ නම් කටකළුවා යනු නිර්විෂ එනම් කිසිඳු විෂක් නැති අහිංසක සර්පයෙකි. බියවූ විට මුඛය විවෘත කර කට ඇතුළු පැත්තේ කළු පැහැය පෙන්වන නිසා මේ නම යෙදී ඇත. කිසිසේත් නයා සහ ගැරඬියා අතර සංසර්ගයක් සිදු නොවේ. සර්පයන්ගේ ලිංගික අවයව සෑදී ඇත්තේ තම වර්ගයේ සර්පයන් හා සංසර්ගය සිදුකිරීමට පමණි.

නයා පළිගැනීමට නැවත සොයා පැමිණෙන බව

ජනවහරේ ඇසෙන “නයාට ගහලා පොල්ල වරද්දගන්න එපා” කියමන අනුව නාගයාට පහරක් එල්ල කිරීමෙන් පසුව පලා ගියහොත් නැවත සොයා පැමිණ පළිගන්නා බව දැක්වේ. නමුත් වෛරය, තරහ වැනි සංකීර්ණ සංකල්ප අවබෝධ කරගැනීමට තරම් සර්පයන්ගේ මොළය පරිණාමය වී නොමැත. සියලුම සත්වයන් මරණයට සහ දඬුවමට බිය වන්නේය. පළිගැනීම වැනි මිත්‍යා ප්‍රවාද නිසා අනිසි ලෙස සර්පයන්ට හානි පැමිණවීම වළක්වාගෙන නිවැරදි දැනුමකින් යුක්තව සර්පයන් සංරක්ෂණය කිරීම වඩා අගනේය.

අතීතයේ පටන් මිනිසාට නිතර ඇස ගැටෙන සත්ව විශේෂයක් වන සර්පයන් ගැන ලාංකික ජනප්‍රවාදයේ එන විශ්වාස වලින් කිහිපයක් ඉහත සඳහන් කර ඇත. මිත්‍යා මත වල සැබෑ ස්වරූපය හඳුනාගෙන සර්ප ප්‍රජාව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමට මෙයින් පිටිවහලක් ලැබෙනු ඇත. මේ පරිසරය තුළ අපට මෙන්ම ඔවුන්ටද ජීවත්වීමේ අයිතියක් ඇත.

 

ශවීන් මධුෂ්ක

වෛද්‍ය පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය