Snake Protectors Sri Lanka

සර්පයන් ද පරිසරයේ කොටසකි, ඔවුන්ට ද ජීවත් වීමට අයිතියක් ඇත.
Snakes are also a part of the environment, they also have a right to live.
අප ගැන බිඳක්

ශ්‍රී ලංකාවේ ජනතාව සර්ප දෂ්ඨන වලින් බේරාගැනීමේ හා මෙරට සර්ප සම්පත රැකගැනීමේ අරමුණ පෙරදැරිව එම කටයුත්ත සඳහා ස්වේච්ඡාවෙන් කැපවූ සර්ප ආරක්ෂකයින්ගේ නාමාවලියක් සකස් කිරීම සඳහා මුලින්ම අදහස පහළ වන්නේ මීට දෙවසරකට පමණ පෙරය. එහි ප්‍රතිපලයක් ලෙස letsprotectsnakes.blogspot.com නමින් බ්ලොග් අඩවියක දිවයින පුරා විසිරී පැතිරුණු සර්ප ආරක්ෂකයින්ගේ දුරකථන අංක සහිත නාමාවලිය මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ වර්ෂ 2020 ඔක්තෝබර් විසිපස් වැනිදාය.

දෙවසරක් තුල එම බ්ලොග් අඩවිය නැරඹුම් වාර 20,000 ක් ඉක්මවා අත්කරගෙන තිබූ අතර දිවයින පුරා විවිධ ප්‍රදේශවල සර්පයින් දහස් ගණනකගේ ජීවිත සුරක්ෂිත කිරීමට එමගින් හැකියාව ලැබෙන්නට ඇතැයි අප විශ්වාස කරමු. තමන්ගේ ජීවිත පවා අවධානමේ හෙලාගනිමින් එසේ දිවයින පුරා දිවා රෑ නොබලා සර්පයින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට කැපවූ සර්ප ආරක්ෂකයින් මෙම වෑයමේ ප්‍රධාන කොටස් කරුවෝ වෙති. එසේම මෙම බ්ලොග් අඩවිය යාවත්කාලීන කරමින් සහ එය ජනතාව අතර ප්‍රචලිත කරමින් මෙම කාර්යයට දායකවූ සමාජ මාධ්‍ය ජාලා වල සර්පයින් පිළිබඳ ක්‍රියාකාරී සමූහ වල ඇඩ්මින්වරුන්, ලලින්ද බණ්ඩාරයන් සහ මා ප්‍රිය බිරිඳ චේතිකාද මෙහිදී සිහිපත්කළ යුතුය.

දෙවසරක ඇවෑමෙන් මෙම දත්ත පද්ධතිය වෙබ්අඩවියක් බවට පත්කිරීමට මග පෑදෙන්නේ MDP Network අධිපති හා ප්‍රධාන විධායක නිලධාරී මලිත් පෙරේරා මහතාගේ අවධානය මේ වෙත යොමුවීමත් සමගය. ඒ සඳහා මග පෑදුණේ දිවයිනේ ඉතා ප්‍රකට සර්ප ආරක්ෂකයෙකු සහ සර්පයින් ඇල්ලීමට පිළිබඳ පුහුණුකරුවෙකු වන හබරණ ජෙගනාදන් මහතා මුල් බ්ලොග් අඩවියේ දිගුව මලිත් මහතාට සර්පයෙකුගේ ජීවිතයක් බේරා ගැනීම සඳහා ලබාදීමෙනි. එමගින් මෙම ක්‍රියාව පිළිබඳ පැහැදී කිසිඳු මූල්‍ය ප්‍රතිලාභයක් නොලබා මෙම වෙබ්අඩවිය නිර්මාණය කිරීමේ සහ සත්කාරකිරීමේ කටයුත්ත MDPHostinglanka මූලිකත්වයෙන් සිදුකිරීමට MDP Network අධිපති මලිත් පෙරේරා මහතා භාර නොගන්නට මෙම වෙබ්අඩවිය යතාර්ථයක් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණි. තවද මෙම වෙබ්අඩවියේ නිර්මාණකරු වෙබ් අඩවි සංවර්ධන නිලධාරී ඉමේෂ පෙරේරා මහතාගේ කැපවීමද මෙහිදී අගයකළ යුතුය. එමෙන්ම මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා තම උපදෙස් හා සහාය නොමසුරුව ලබාදෙන ප්‍රවීණ උරග හා උභයජීව විද්‍යාඥ සුරංජන් කරුණාරත්න මහතාටද කෘතවේදීත්වය පිරිනමමු.

ශ්‍රී ලංකාවේ ජනතාව සර්ප දෂ්ඨන වලින් ආරක්ෂාවීමට හා අපේ රටට උරුම ඉතා වටිනා සත්ත්ව සම්පතක් වන සර්පයින්ගේ ජීවිත සුරක්ෂිතවීමට මෙම වෙබ්අඩවිය සුළු හෝ දායකත්වයක් ලබා දෙන්නේ නම් අප සියලු දෙනාගේ සතුට එයයි.

සුපුන් ළහිරු ප්‍රකාශ්  PhD(reading), MSc, BBA, HNDT(Agri.), DipPH
කැඳවුම්කරු
ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සරක්ෂණ හා පර්යේෂණ කවය