Snake Protectors Sri Lanka

සර්පයන් ද පරිසරයේ කොටසකි, ඔවුන්ට ද ජීවත් වීමට අයිතියක් ඇත.
Snakes are also a part of the environment, they also have a right to live.
Previous
Next

සර්පයින් සුරකිමු!

සර්පයින් යනු අප අවට පරිසරයේ සිටින ඉතා වැදගත් සත්ව කොට්ඨාශකි. නමුත් අනියත බිය හා පිළිකුල හේතුවෙන් අප අවට පරිසරයේ සිටින සර්පයින් අනවශ්‍ය ලෙස මරා දැමීමට ඇතැමුන් පෙළඹේ. නමුත් ඔබගේ නිවෙසට, ගෙවත්තට හෝ වෙනත් පරිශ්‍රයකට පැමිණෙන සර්පයින් මරණයට පත් නොකර, ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ස්වකැමැත්තෙන් ඉදිරිපත්වන ස්වේච්ඡා සර්ප ආරක්ෂකයින් අමතා එම සත්වයා ආරක්ෂිතව ඔබගේ පරිශ්‍රයෙන් ඉවත්කර සුදුසු පරිසරයකට මුදා හැරීමට ඉඩ සැළසීම මෙම වෙබ්අඩවියේ අරමුණයි. එමගින් ශ්‍රී ලංකාවේ ජනතාව සර්ප දෂ්ඨන වලින් ආරක්ෂා කරගැනීමට සහ සර්ප සම්පත ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.
ඉංග්‍රීසි අකාරාදී පිළිවෙලට සකස් කළ දිස්ත්‍රික්ක අනුව ඉදිරිපත්කර ඇති මෙම දත්ත පද්ධතියේ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ජීවත්වෙන ඔබට යම් ආකාරයකින් සර්පයෙකු ආරක්ෂිතව ඉවත්කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ඇමතිය යුතු දුරකථන අංක ඇතුලත්කර තිබේ. මේ ආකාරයෙන් වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුවට අමතරව දිවයින පුරා විසිරී පැතිරුණු සර්පයින්ගේ ජීවිත බේරා ගැනීමට ස්වකැමැත්තෙන් ඉදිරිපත්වන ස්වේච්ඡා සර්ප ආරක්ෂකයින් රැසකගේ දුරකථන අංක මෙම වෙබ්අඩවියට ඇතුලත් කර ඇති අතර ඔබට සමීපයේ සිටින එවැන්නෙකු අමතා ඔවුන්ගේ සහය ලබාගෙන සර්ප දෂ්ඨන වලින් ආරක්ෂා වීමට හා ශ්‍රී ලංකාවේ සර්ප සම්පත රැකගැනීමට කැපවෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. නමුත් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අදාළ සර්ප ආරක්ෂකයින් හට ඔවුන්ගේ කැමැත්ත අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් හෝ අනුග්‍රහයක් ලබාගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු.

මෙම වෙබ්අඩවිය පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ ජනතාව සර්ප දෂ්ඨන වලින් ආරක්ෂා කරගැනීම සහ සර්ප සම්පත ආරක්ෂා කරගැනීම යන යහපත් චේතනාවන් පෙර දැරිකරගෙන සිදුකරගෙන යන ලාභ නොලබන ස්වේච්ඡා සම්බන්ධීකරණ කටයුත්තක් වන අතර එය සේවාදායකයින් සහ සේවාලාභීන් විසින් සාපර්ධී චේතනාවෙන් පරිහරණය කළහොත් එහි වගකීම මෙම වෙබ්අඩවිය විසින් භාරගනු නොලබන බව අවධාරණය කරමු.


එසේම සර්පයින් ඔවුන්ගේ වාසභූමි වලින් ඉවත්කර වෙනත් ප්‍රදේශයකට ගෙනගොස් දැමීම සාර්ථක සංරක්ෂණ ක්‍රමවේදයක් නොවන බව ලොව පුරා සිදුකර ඇති විද්‍යාත්මක අධ්‍යන මගින් අනාවරණයවී ඇත. එබැවින් එය අවසන් විකල්පය වශයෙන් යොදාගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. හැකි සෑම විටම එම සතුන්ට තමන්ගේ වාසභූමිය තුළම ජීවත් වීමට ඉඩ සැළසීම හෝ එසේ නොහැකිනම් ආසන්නයේම ඇති සුදුසු පරිසරයකට මුදා හෑරීම වඩාත් සුදුසු බව අවධාරණය කරමු.

ඡායාරූප: ඩී.එම්.එස්. සුරංජන් කරුණාරත්න, කලණ වීරක්කොඩි